top of page
Writer's pictureBlack Fox News SL

බෂීර් සහ ගඩාෆි ට පසු පුටින් ද ?

රුසියාව යුක්‍රේනය ආක්‍රමණය කර අද වනවිට වසරකට අධික කාලයක් ගතවී ඇති අතර තවමත් එහි නිමාවක් දක්නට නොමැත.

මෙම යුද්ධයෙන් දෙරටේම මියගිය සෙබළු ගණන නිශ්චිතව ගණන් බලා නැතත් නිල නොවන වාර්තාවලට අනුව එය ලක්ෂ 2 ඉක්මවන බව සඳහන් වෙයි.

යුද්ධයේ වින්දිතයින් ගණන මිලියන 18 ඉක්මවා යද්දී ඒ අතරින් මිලියන 2 කට ආසන්න පිරිසක් දරුවන් බව සඳහන් විය.

නෙදර්ලන්තයේ හේග් අගනුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය රුසියානු ජනාධිපති ව්ලැද්මීර් පුටින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කර ඇත්තේ මෙවන් පසුබිමකය.

ඒ, නීතිවිරෝධී අයුරින් යුක්‍රේනයේ දරුවන් දහස් ගණනක් රුසියාවට බලහත්කාරයෙන් පිටුවහල් කිරීම ඇතුළු යුද අපරාධ සිදුකළ බවට චෝදනා කරමිනි.

මෙලෙස යුක්‍රේනයෙන් රුසියාවට පිටුවහල් කර ඇති ළමුන් ගණන 16,000 කට අධික විය හැකි බව වාර්තාවල සඳහන් වෙයි.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, ළමා අයිතිවාසිකම් පිළිබඳ රුසියානු කොමසාරිස්වරයාට ද මේ සම්බන්ධයෙන් ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තු නිකුත් කර ඇති බවය.

ඒ අනුව රුසියානු ජනාධිපතිවරයා ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරන රටක සංචාරය කරන අවස්ථාවකදී අත්අඩංගුවට ගෙන නෙදර්ලන්තයේ හේග් අගනුවර පිහිටි ජාත්‍යන්තර අපරාධ අධිකරණය වෙත ඉදිරිපත් කිරීමේ හැකියාව පවතී.

මේ වනවිට ලොව රටවල් 123 ක් ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ සාමාජිකත්වය දරන නමුත් රුසියාව, ඉන්දියාව ඇතුළු රටවල් 41ක් එහි සාමාජිකත්වය දරන්නේ නැත.

ඒ අනුව මෙම වරෙන්තුව ක්‍රියාවට නැංවිය නොහැකි බව විදෙස් දේශපාලන විචාරකයින්ගේ මතය වෙයි.

රුසියාවේ ජනාධිපතිවරයාට එරෙහි වරෙන්තුව පිළිබඳව අදහස් දක්වන යුක්‍රේන ජනාධිපති ව්ලොදිමීර් සෙලෙන්ස්කි මෙම ජාත්‍යන්තර අපරාධ අධිකරණයේ නියෝගය හඳුන්වා දී ඇත්තේ, ඓතිහාසික වගවීමකට තුඩු දෙන ඓතිහාසික තීරණයක් ලෙසටය.

එමෙන්ම රුසියානු ජනපතිවරයාට එරෙහිව එල්ලවී ඇති යුද අපරාධ චෝදනා සාධාරණ බව අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩන් ද පවසා ඇත.

අමෙරිකානු ජනාධිපති බයිඩන් පවසන්නේ රුසියානු ජනාධිපති පුටින් නිසැකවම යුද අපරාධ සිදු කර ඇති බවය.

විදෙස් මාධ්‍ය වාර්තා කරන්නේ, චින ජනාධිපති ෂී ජින්පින් සමග විශේෂ හමුවකදී රාජ්‍ය තාන්ත්‍රික සබඳතා ආරම්භ කිරීමට නියමිතව සිටින රුසියානු ජනාධිපතිවරයාට මෙම වරෙන්තුව බරපතළ නීතිමය ගැටලුවක් වනු ඇති බවය.

කෙසේවෙතත් වරෙන්තුව පිළිබඳව ප්‍රකාශයක් නිකුත් කරමින් රුසියානු විදේශ අමාත්‍යාංශය නිවේදනය කළේ මෙම වරෙන්තුවේ කිසිදු නීතිමය වලංගුභාවයක් නොමැති බවටය.

එනමුත් යුක්‍රේනය දෙවරක් එනම් 2014 සහ 2015 යන වසරවල දී ජාත්‍යන්තර අපරාධ අධිකරණය පිළිගෙන ඇති බැවින්, අධිකරණ බලය පිළිගත් ප්‍රාන්ත භූමියක සිදුවන යුද අපරාධ සම්බන්ධ තීරණ ගැනීමට බලයක් තමන්ට ඇති බව ජාත්‍යන්තර අපරාධ අධිකරණය පවසයි.

සුඩානයේ ඕමාර් අල් බෂීර් සහ ලිබියාවේ මුවම්මර් ගඩාෆිට පසුව ජාත්‍යන්තර අපරාධ අධිකරණය විසින් අත්අඩංගුවට ගැනීමේ වරෙන්තුවක් නිකුත් කළ තුන්වන ජනාධිපතිවරයා වන්නේ ව්ලැද්මීර් පුටින්ය.

එමෙන්ම එක්සත් ජාතීන්ගේ ආරක්ෂක කවුන්සිලයේ නිෂේධ බලය හිමි නිත්‍ය සාමාජිකයෙකු ද වන රාජ්‍යයක රාජ්‍ය නායකයෙකුට එරෙහිව ජාත්‍යන්තර අපරාධ අධිකරණය වරෙන්තුවක් නිකුත් කළ පළමු අවස්ථාව මෙය වීම විශේෂත්වයකි.


2 views0 comments

תגובות


bottom of page