top of page
Writer's pictureBlack Fox News SL

බූරු මූණා ඝාතන සිද්ධි දෙකක් පමණක් භාරගනී

අවිස්සාවේල්ල ප්‍රදේශයේදී ඊයේ (17) අත්අඩංගුවට ගත් කුලී ඝාතකයෙකු ලෙස සැලකෙන රවිඳු සංඛ ද සිල්වා හෙවත් 'බූරු මූණා' පැය 72 ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් අද (18) අවසර ලබාගෙන තිබුණි. පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හඬා වැටෙමින් 'බූරු මූණා' පවසා ඇත්තේ තමන්ට ඝාතන චෝදනා 9ක් එල්ල වූව ද ඉන් දෙකක් පමණක් තමන් විසින් සිදුකළ බවය. හංවැල්ල ප්‍රදේශයේ වෙළෙඳසැළකට ඇතුළුවී එහි සිටි ව්‍යාපාරිකයෙකුට වෙඩිතබා ඝාතනය කිරීම ඇතුළු මිනීමැරුම් රැසක් සම්බන්ධයෙන් රවිඳු සංඛ ද සිල්වා හෙවත් 'බූරු මූණා' පොලීසියට අවශ්‍යව සිටි සැකකරුවෙකි. ඔහු පසුගියදා කටුනායක ගුවන්තොටුපොළ පොලීසියෙන් පළාගොස් සැඟව සිට ඇත්තේ කුරුණෑගල ප්‍රදේශයේය. අනතුරුව නීතීඥවරයෙකු විසින් 'බූරු මූණා' ව දඹුල්ල ප්‍රදේශයට රැගෙන ගොස් සඟවා තබාගෙන සිට තිබේ. එහිදී අදාළ නීතීඥවරයා 'බූරු මූණා' ව අධිකරණයකට ඉදිරිපත් කිරීමට නම් රුපියල් ලක්ෂ 10ක මුදලක් ඉල්ලා ඇති බව වාර්තා විය. එම මුදල මේ වන විට විදේශගතවී සැඟව සිටින රත්ගම විදුර නැමැත්තා විසින් ලබාදෙනතෙක් 'බූරු මූණා' දඹුල්ලේ සැඟවී සිට තිබේ. 'බූරු මූණා' අවිස්සාවේල්ල පොලීසිය විසින් ඊයේ අත්අඩංගුවට ගනු ලැබුවේ එම මුදල ලබාදීමෙන් පසුව 'බූරු මූණා' එම නීතීඥවරයා සමග ඊයේ අවිස්සාවේල්ල අධිකරණයට භාරවීම සඳහා පැමිණෙමින් සිටින අතරතුරදීය. එමෙන්ම ඔහුව අද දිනයේදී අධිකරණයට ඉදිරිපත් කිරීමක් සිදුවවහොත් නීතීඥවරුන් පස්දෙනෙකු පමණ මොහු වෙනුවෙන් පෙනී සිටීමටද විශාල මුදලක් ලබාගෙන ඊට සූදානමින් සිට ඇති බවද වාර්තාවිය. ඊයේ රාත්‍රියේ බස්නාහිර දකුණ අපරාධ කොට්ඨාසයට සැකකරු රැගෙන ආ අතර එහිදී ඔහුව පැය 72ක් රඳවාගෙන ප්‍රශ්න කිරීම සඳහා පොලීසිය අවසර ලබාගෙන තිබේ. සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී 'බූරු මූණා' පවසා ඇත්තේ තමන්ට ඝාතන 9ක් සම්බන්ධයෙන් චෝදනා එල්ලවූවද ඉන් දෙකක් පමණක් තමන් විසින් සිදුකළ බවය. ඔහු තමන් විසින් සිදුකළ මනුෂ්‍ය ඝාතන ලෙස පිළිගෙන ඇත්තේ රත්ගම ප්‍රදේශයේදී සිදුකළ ඝාතනයක් හා හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනයයි. හංවැල්ලේ ව්‍යාපාරිකයා ඝාතනය කර ඇත්තේ ලලිත් නමැති අපරාධ කල්ලි සාමාජිකයා විසින් 'බූරු මූණා'ට විදේශගතවීම සඳහා රුපියල් ලක්ෂ 2කට ආසන්න මුදලක් වියදම් කර ව්‍යාජ ගුවන් ගමන් බලපත්‍රයක් සකසාදීමට ප්‍රතිඋපකාරයක් සිදුකිරීම සඳහා බවද ඔහු පවසා තිබේ.‍ එමෙන්ම මොහු විසින් ගිනි අවි හා මත්ද්‍රව්‍ය ප්‍රවාහනය සිදුකර ඇති බවටද පොලීසිය අනාවරණ කරගනු ලැබීය. මොහු විදෙස්ගතවී සිටින ජාවාරම්කරුවන්ගේ ඕනෑ එපාකම් ඉටුකරන පුද්ගලයෙකු බවද පොලීසිය සිදුකළ ප්‍රශ්න කිරීම්වලදී හෙළිදරව් වී තිබේ. තවත් අපරාධ කල්ලි සාමාජිකයෙකු වන දැනට රක්ෂිත බන්ධනාගාරගතව සිටින පොඩි ලැසීගේ පාර්ශ්වය සමග මොහුට ගැටුමක් පවතින බවත් ඔවුන්ට තම බලය පෙන්වීම සඳහා මොහු රත්ගම විදුර සමග එක්වී ඇතැයි ද පොලීසිය සඳහන් කරයි. මෙම ප්‍රශ්න කිරීම් සිදුකරන අතරතුර අවස්ථා ගණනාවකදී 'බූරු මූණා' හඬා වැටී තිබේ. ඔහු එලෙසින්ම ගුවන් තොටුපොළ පොලිස් නිලධාරීන් ඉදිරියේද හඬා වැටී ඇති අතර ඔහු එලෙස හඬා වැටෙන්නේ අනුකම්පාව දිනා ගැනීමට බවට පොලීසිය සැක පළ කරයි.



1 view0 comments

Commentaires


bottom of page